"Aura via Gadgets" Read the full series

AURA VIA GADGETS

Sunday, March 22, 2020

COVID - 19 නව කොරෝනා වෛරසය මර්දනය හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද

නව කොරෝනා වෛරසය නැතහොත් COVID 19 මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත් වී අවසන්. 2019 වසරේ නොවැම්බර් මාසයේදී, චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තා වූ අතර, මේවන විට මෙම වසංගතය  චීනය, ඉතාලිය, ජර්මනිය ඇතුළු යුරෝපා කලාපයේ රටවල් රැසකට මෙන්ම, ඇමෙරිකාව, ඉරානය වැනි ලොව පුරා රටවල් 167 කට අධික ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙනවා. ලොව පුරා ලක්ෂ 03කට අධික ජනතාවකට මේවනවිට මෙම වෛරසය  ආසාදනය වී ඇති අතර, මේවනවිට 13000කට අධික ප්‍රමාණයක් මේ හේතුවෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත් වී තිබෙනවා. COVID -19 වෛරස වසංගතය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් "ගෝලීය වසංගතයක්" බවට නම් කර තිබෙනවා.
ඉකුත් ජනවාරි මස 27 වැනිදා, ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා ආසාදිත පුද්ගලයා ලෙස විදේශීය කාන්තාවක් හදුනා ගනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ දත්ත වලට අනුව, මෙරටින් කොරෝනා වෛරසය ආසාදිතයින් තවමත් වාර්තාවන අතර, කොරෝනා බවට සැකකරන පුද්ගලයින්  රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. එපමණක් නොව තවත් සැලකිය යුතු පිරිසක් කන්දකාඩු, පූනානි, දියතලාව ආදී නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.
උණ,කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදනය, හුස්ම ගැනීමේ අපහසුතාව කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ වන අතර, මෙම රෝගය උත්සන්න වුවහොත් නියුමෝනියාව, තීව්‍ර ශ්වසනාබාධ හා වකුගඩු අක්‍රිය වීම සිදු විය හැක. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිරීම මැඩපැවැත්වීම සදහා, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ,රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඇතුළු බොහෝ අංශ එකතු කර පිහිටි වූ,"ජාතික කොරෝනා මර්දන කාර්‍ය සාධක් බලකාය" විසින් මේවනවිට සාධනීය පියවර රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් සීමා කිරීම මෙන්ම දීපව්‍යාප්ත ඇදිරි නීතිය පැනවීමටද තීරණය කර තිබෙනවා.
බොහෝ සේවා ස්ථාන මෙම කාලසීමාව තුළ නිවාඩු තත්වයක තිබුණත්, අත්‍යවශ්‍ය රාජකාරි  කටයුතුවල නිරත වී සිටින ඔබ, මෙම වසංගතයෙන් මිදීම සදහා පහත සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම වැදගත්.
  • යම් කෙනෙක් උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ සුළුවෙන් හෝ පෙන්වන්නේ නම්, ඔහු/ඇයට රෝගී තත්වය සම්පූර්ණයෙන් සුව වෙන තෙක් රැකියාවට නොපැමිණ සිටීමට උපදෙස් දිය යුතුයි. හැකිනම් නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් ලබා දීම සුදුසුයි. එමෙන්ම කොරෝනා ආසාදිත බවට තහවුරු වූ/ සැකසහිත රෝගියකු සමග සමීප ඇසුරක් පවත්වන ලද අයෙකු නම්, ඔහු/ඇය දින 14ක කාලයක්, නිවසේ සිටිමින් ස්වයං - නිරෝධායනයට ලක්වීම වැදගත්.
  • නිතර ස්පර්ශ වන පෘෂ්ඨ හා ආම්පන්න වල වෛරසය රැඳී තිබිය හැකි බැවින් දොර හැඩල,  දුරකථන රිසීවර, මේස මතුපිට, තරප්පු පෙළ අත්වැට ආදී දේ විසබීජ නාශක දියර යොදා නිතර පිරිසිදු කිරීමට සැලැස්වීම වැදගත්.
  • COVID-19 වෛරසය බහුලවම පැතිරයන්නේ ස්පර්ශය මගින් වන බැවින් හැකි සෑම අවස්ථාවකදීම, සබන්/ අත් සෝදන දියර යොදා හොඳින් අත් සෝදා ගන්න. මුහුණු ආවරණ පැළදීම සිදුකළ යුතු සේම අනවශ්‍ය ලෙස මුහුණ, කට,නාසය, ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතුයි. තමන් හා සේවය කරන අන් අයටද මෙය නිතර සිහි කැඳවීම වැදගත්.
  • පුද්ගලයන් දෙදෙනෙකු හමුවීමේදි, දෙදෙනා අතර අවම වශයෙන් මීටරයක දුර පරතරයක් පවත්වා ගැනීම මෙන්ම, හමුවීමකදී අතට අත දීම (Shake hand), සිප වැළද ගැනීම වෙනුවට, "ආයුබෝවන්" කීම වැනි ආගන්තුකයින් පිළි ගැනීමේ ක්‍රමවලට එළැඹීම සුදුසුයි.
  • අනවශ්‍ය ලෙස සෙනග එක් රැස් කිරීම් හැකිතාක් අවම කළ යුතුයි. කල් දැමිය හැකි රැස්වීම් කල් දැමීම මෙන්ම, Video Conferencing / Group Calling වැනි නූතන සන්නිවේදන ක්‍රමවේදයන්  වෙත හැකිතාක් යොමුවීම සුදුසුයි.
එමෙන්ම, විදුලි බලාගාර හා ඒ ආශ්‍රිතව සේවය කරන ඔබත් මෙම වසංගතයෙන් මිදීමට සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීම වැදගත්.ඉහත ක්‍රමවේදවලට අමතරව,
  • විදුලි බලාගාර තුළට ඇතුළු වන ස්ථානවල සබන්/ අත් සෝදන දියර භාවිත කිරීමට පහසුකම් සැලසීමද
  • අවම සේවක පිරිසක් සහභාගී කරවා ගෙන, අත්‍යවශ්‍යම නඩත්තු කටයුතු පමණක් සිදු කිරීමද
  • විදුලි බලාගාර නැරඹීම සදහා එන බාහිර පාර්ශව මෙම කාලසීමාව තුළ සම්බන්ධ කර නොගැනීමද වැදගත්.
මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්, පැය 24 පුරා ශ්‍රී ලංකාව තුළ ඕනෑම දුරකථන ජාලයකින් 117 (ජාතික කොරෝනා මර්දන කාර්‍ය සාධක බලකාය) හදිසි ඇමතුම් අංකය ඇමතීමට පුළුවන්. මෙම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිතයෙන්, ඔබට සේවා ස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවස්ථාව අවම කරනවා මෙන්ම ඔබ පවුලේ ආදරණීයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ද හේතු වනු නිසැකයි.
ඊ. එම්. සදීප අරිත්,
ඉංජිනේරු පීඨය,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය


No comments:

Post a Comment